2018 වන වර්ෂය ආරම්භ වී දැනට ගත වී ඇත්තේ දින 50කටත් අඩු කාලයකි. අලුත් අවුරුද්දක් ලබා මෙතරම් අඩු කාලයක් තුළදී විශේෂයෙන් අප රටටත් ජනතාවටත් අත්විඳින්නට සිදුවී තිබෙන අභාග්‍ය සම්පන්න තත්ත්වයන් පෙර වසරවල නොපැවති බව මගේ අත්දැකීම හා විශ්වාසය අනුව කියනු කැමැත්තෙමි. ඉතා සුළු පිරිසක් විශ්වාස නොකළද ජ්‍යොතිෂ්‍ය ශාස්ත්‍රය හා එහි පැවැත්මට ඉවහල් වන්නා වූ ග්‍රහ තරු විසින් මේ මිහිතලයට, ප්‍රාණීන්ට ඇති කරනු ලබන යහපත අයහපත ගැන කිසියම් මතයක් ඉදිරිපත් කිරීම මෙම ලිපියෙහි අරමුණයි. සාමාන්‍යයෙන් චන්ද්‍රග්‍රහණ, සූර්යග්‍රහණ ආදිය ඇති වීම නිසා ලෝකයට අශුභ බලපෑම් ඇති කරවන බව ජ්‍යොතිෂ නියමයයි.
මෙම ග්‍රහණ පවතින රාශි හෙවත් ලග්න කොටස අයත්වන රටවල්වලට ඇති කරවන බලපෑම් බලවත්ව අපල ගෙන දෙන බවද ප්‍රකාශිතයි. මේ වසරේ පළමුවෙන්ම යෙදුණේ චන්ද්‍රග්‍රහණයක් වන අතර, එය 2018-01-31 දින සිදුවිය. ගැමියන් අතර සඳ රාහු ඇල්ලීම යනුවෙන් හඳුන්වන චන්ද්‍රග්‍රහණය ඉහත සඳහන් දිනයේ කටක රාශියේදී සිදුවිය. කටක රාශිය ජල ධාතු ගුණයෙන් යුතුවෙයි.
එමෙන්ම කටකය සඳු ග්‍රහයාට අයත්වන අතර, සඳු ග්‍රහයා සිතට බලපෑම් ඇති කරන්නා වශයෙන් සැලකෙයි. ග්‍රහණ වීම යනු සඳු ග්‍රහයා පීඩාවට පත්වීමයි. මේ නිසා ජලයෙන් ජලය මූලික වන දෙයින් හානි ඇතිවීම, සත්ත්වයන්ගේ සිත් දූෂිත වීම, අපැහැදිලි සහ වැරදි අරමුණු බහුල වීම, හදවත් පෙනහලු ආශ්‍රිත රෝග පැතිරීම, ඒවා බහුලවීම ආදිය සිදු වේ. ඉන්පසු 2018.02.16 වන දින අර්ධ සූර්යග්‍රහණයක් ඇතිවිය. මෙය සිදු වූයේ කුම්භ රාශි කොටස තුළදීය.
කුම්භ රාශිය වායුකාරක සෙනසුරු ග්‍රහයාට අයත්වන රෝග බහුල වීම විශේෂයෙන් සිදුවන අතර,බොරු ප්‍රචාරවලින් මහජන කැළඹීම් ආදියද ඇතිවන බව ප්‍රකාශිතයි. මේ අනුව වසරේ ගත වූ දින ගණන දෙස බලන කල ඉහත ප්‍රකාශවල සත්‍යතාවය ඔබට අවබෝධ කර ගැනීම අපහසු නොවනු ඇත. ඉදිරියටද මාස 03කට වඩා වැඩි කාලයක් මේ තත්ත්වය පවතින බව කිව හැකිය. විශේෂයෙන් පෙබරවාරි 16 සිදු වූ අර්ධ සූර්යග්‍රහණය සිදු වූ කුම්භ රාශිය ලංකා කේන්ද්‍රයටද අයත් වේ.
එබැවින් සූර්යග්‍රහණයේ අයහපත් ප්‍රතිඵල අප රටට ජනතාවට කලක් යනතුරු විඳීමට සිදුවිය හැකියි. මේ දිනවල ග්‍රහණයට ලක් වූ සූර්යයා තමන්ට සතුරු සෙනසුරු ග්‍රහයාට අයත් වූ ද ස්ථානීය වශයෙන් සතුරු මූඪ රාශියක් වූ කුම්භයේ මාර්තු 14 දින දක්වාම සිටී. බුධ ග්‍රහයා හිරුගෙන් අස්නව මාර්තු 03 නීච රාශියට යන අතර මැයි 09 දක්වා නීච, අස්න තත්ත්වයෙන් සිටී.
මෙය බුද්ධියට, කුඩා දරුවන්ට, අධ්‍යාපනයට, වෛද්‍ය වෘත්තියට අදාල අංශවලට අයහපත් ප්‍රතිඵල ගෙනෙන හේතුවකි. අප්‍රේල් 02 ශනි, කුජ ගැටුම, මැයි 02 සිට නොවැම්බර් 06 තෙක් කුජ ග්‍රහයා ලංකා කේන්ද්‍රයේ 12 වැන්නේ සිටීම වැනි කරුණු සලකා බලන කල මේ වසරේ වැඩි කාලයක් අප රටට යහපත් ග්‍රහ පල නැති වී යාමට ඉඩ තිබේ.
ලග්න වශයෙන් ගත්කල මකර, කුම්භ, මීන, මේෂ, තුලා යන ලග්න හිමි අයට අයහපත් ප්‍රතිඵල ලැබෙන්නට බොහෝ සෙයින් ඉඩ තිබේ. දුර දක්නා නුවණින් කටයුතු කිරීම, නිවැරදි තීරණ ගැනීම, ක්‍රියාත්මක කිරීම, ඉවසීම අවශ්‍ය කාලයකි. ග්‍රහදෝෂවලින් ආරක්ෂා වීමට අවශ්‍ය වත්පිළිවෙත්හි යෙදීමද කළ යුතු වේ. උපන් ග්‍රහ බලය දැනට ගත කරන දශා අතුරැ දශා ආදිය නිසා, අඩු වැඩි වශයෙන් පලාපල ගෙනෙනු ඇත. පොදුවේ රටට ඇතිවන අයහපත් තත්ත්වයන් සැමට පොදුවේ බලපවත්වන බවද අමතක නොකළ හැකිය.