2018 මාර්තු 10 වන සෙනසුරාදා

ශ්‍රීදේවිට මොකද වුණේ?

 2018 මාර්තු 10 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 502

භාරතයේ ඉතාම ජනප්‍රිය නිළියක් වූ ශ්‍රීදේවි පසුගියදා ජීවන රඟමඩලෙන් සදහටම සමුගත්තාය. ඇයගේ හදිසි මරණය පිළිබඳ විවිධ කටකතා මේ වන විට ලොව සිසාරා ප්‍රචලිත වෙමින් පවතී. ඇත්ත වශයෙන්ම ඇයගේ මරණය හදිසි අනතුරක් නිසා සිදුවූවක් ද නොඑසේ නම් ඝාතනයක් ද යන්න පිළිබඳ තවමත් ස්ථිර තීරණයකට පැමිණ නැත.

විවිධ දර්ශනවාදවලට තෝතැන්නක් වූ ඉන්දියාවේ ද ඇයගේ හදිසි අභාවය පිළිබඳ විවිධ කටකතා පවතී. ඇයගේ මරණය කල්තබා හඳුනාගන්නට නොහැකි වීද යන්න හා ඇයගේ උත්පත්ති කේන්ද්‍රයේ මෙම අභාවය ලියැවී තිබුණද, නොඑසේ නම් හදිසියේ සිද්ධ වූ ග්‍රහ වෙනසක් මෙයට බලපෑවාද යන්න පිළිබඳ ජ්‍යොතිෂවේදීන් අතර ද සාකච්ඡා ඇති වී තිබේ.මේ මරණයට ඇයගේ ග්‍රහ බලපෑම් හේතු වූවාද යන්න පිළිබඳ දිවයිනේ ප්‍රකට ජ්‍යොතිෂවේදීන් දෙදෙනකු පළ කරන අදහස් මෙසේ සංක්ෂිප්ත ලෙස දක්වමු.

කිසිම අබිරහසක් නැහැ

ඉන්දීය සුප්‍රකට නිළි ශ්‍රීදේවි බලාපොරොත්තු නොවූ අවස්ථාවක අවුරුදු 55 සපිරෙද්දී ජීවිතයෙන්ම සමු ගත්තාය. 1963.08.13 වැනි දින උපත ලබා සිටි ඇයගේ මරණය පිළිබඳව භිර්ගු නන්දන නාඩි සිද්ධාන්ත ඔස්සේ සිදුකරනු ලබන නවතම පර්යේෂණයට අනුව කරුණු පැවසිය හැකිය.

ඉපදුණු සත්වයාට මියයාමට සිදුවීම අනිවාර්ය වේ. මියයන කාලසීමාව පැවසීම කිසිවකුටවත් කිව නොහැකි බවද පිළිගත් මතයකි. නමුත් එකී දුෂ්කර අභියෝගය ජයගන්නට බොහෝ දෙනෙක් කැස කවති. මෙම පර්යේෂණ ලිපිය ද එවන් වූ දිගුකාලීන උත්සාහයක ප්‍රතිඵලයකි. මා විසින් ඉදිරිපත් කරනු ලබන දත්ත ඔස්සේ මෙම පර්යේෂණය ඉදිරියට පවත්වාගෙන යාමට ඔබට ද අවස්ථාව ඇත.

ශ්‍රීදේවිගේ මියයාම ඇසූ විටම බොහෝ දෙනකුට එය අබිරහසක් විය. නමුත් භිර්ගු නන්දන නාඩි පර් යේෂකයාට එය තවත් අත්දැකීමක් විනා අබිරහසක් වන්නේ නැත. එකී පර් යේණයට ශ්‍රීදේවිගේ උපත විපත සඳහා අදාළ පහත දැක්වෙන පර්යේෂණ සටහන් අත්‍යවශ්‍යයි.

උපතට සහ විපතට ග්‍රහ ගෝචරය

උපත විපත දැක්වෙන රාශි කුණ්ඩලී ආරෝපිතය අදාළ දිශා ආරෝපිත වක්‍රය

කිසියම් ජන්මියකුගේ මරණය සිදුවන කාලය කියාපාන්නට භිර්ගු නන්දන නාඩි සිද්ධාන්ත භාවිත කරමින් නව දත්ත රටාවක් සොයායන නවතම පර්යේෂණයේ දී ප්‍රබල සිද්ධාන්තයක් හා අනු සිද්ධාන්ත ද රාශියක් ගැලපෙන අයුරැ අපට නිරීක්ෂණය වී ඇත. ශ්‍රීදේවිගේ මරණයට ද එකී සිද්ධාන්ත අපූරැවට ගැලපේ.

ප්‍රබල T ශක්ති, ප්‍රධාන පර් යේෂණ සිද්ධාන්තය:-

උත්පත්ති ගුරු සිටින දිශාවේම හෝ ඊට ප්‍රතිවිරුද්ධ දිශාවේ හෝ එකී දිශා දෙකෙහිම හෝ වැඩිම ග්‍රහයන් සංඛ්‍යාවක් ගෝචරය වීම ගුරැගේ ස්ඵුටයට ආසන්න ස්ඵුටයක එකී ග්‍රහයන් ගෝචරය වීමත් සිදුවීම සමඟ තවත් අනු සිද්ධාන්ත කීපයක් සම්පූර්ණ වන්නේ නම් ජන්මියාගේ ආයුෂ අවසාන බව භිර්ගු නන්දන නාඩි, නවතම පර්යේෂණයට අනුව විද්‍යාමාන වන්නේය.
ඉන්දීය ප්‍රවීණ නිළි ශ්‍රීදේවිගේ මරණය පිළිබඳව භිර්ගු නන්දන නාඩි පර්යේෂණ චාරිකාවේ දී එකී T ශක්තිය අපූරැවට සම්පූර්ණ වී ඇති අයුරැ උපතට හා විපතට අදාළ දිශා ආරෝපිත චක්‍රයේ විද්‍යාමාන වෙයි. මීට අමතරව අනු සිද්ධාන්ත රාශියක් මරණය කියාපෑම සඳහා භිර්ගු නන්දන නාඩි සූත්‍ර පර්යේෂණයකින් සොයාගෙන ඇති අතර එයින් කීපයක් ද ශ්‍රීදේවිගේ මරණය හා සැසඳේ.

A සිද්ධාන්තය:-  උත්පත‍්ති රාහු මිථුනයේ තැන්පත්ව සිටී. සෙනසුරු ග්‍රහයා 2017.10.26 ධනුවේ ගෝචරය වීම ආරම්භ කිරීමත් සමඟ උත්පත්ති රාහු ග්‍රහයාට ගෝචර ශනිගේ දෘෂ්ටිය එල්ලවීමේ සිද්ධාන්තය ක්‍රියාත්මක වීම ආරම්භ විය. T ශක්තියට අනුබලයක් එක් කළේය.

B සිද්ධාන්තය:- උත්පත්ති කුජ ග්‍රහයා කන්‍යාවේය. ගෝචර ශනි ධනුවේය. මේ නිසා උත්පත්ති කුජට දෘෂ්ටි එල්ලවන ස්ථානයක මෙකී ගෝචරය ක්‍රියාත්මක විය. T ශක්තියට අනුබලයක් ගෙන දෙයි.

D සිද්ධාන්තය:-  උත්පත්ති රාහු මිථුනයේය. 2017.09.12 සිට ගෝචර ගුරැ තුලාවේය. උත්පත්ති රාහුට දෘෂ්ටි එල්ලවන ස්ථානයක ගුරැ ග්‍රහයා ගෝචරය වීමේ සිද්ධාන්තයක් ක්‍රියාත්මක වෙයි. T ශක්තියට අනුබලයක් ගෙන දෙයි.

H සිද්ධාන්තය:- උත්පත්ති ශනි ග්‍රහයා මකරයේය. ගෝචර රාහු කටකයේය. උත්පත්ති ශනිට දෘෂ්ටි එල්ලවන ස්ථානයක රාහු ගෝචරය වීමේ සිද්ධාන්තය ක්‍රියාත්මක වෙයි. T ශක්තියට අනුබලයක් ගෙන දෙයි.

Q සිද්ධාන්තය:- උත්පත්ති ගුරු මීනයේය. ගෝචර රාහු කටකයේය. උත්පත්ති ගුරැට දෘෂ්ටි දෙන ස්ථානයක රාහු ගෝචරය වීමේ සිද්ධාන්තය සම්පූර්ණ වෙයි. T ශක්තියට අනුබලයක් ගෙන දෙයි.

ජ්‍යොතිර් විද්‍යාර්ථි සුරා ශ්‍රී ගුණවර්ධන අක්මීමණ, තලගහ

දිගටම ජීවිත අවදානම තිබුණා

නොබෝදා දැයෙන් සමුගත් සුප්‍රකට නිළි ශ්‍රී දේවි මහත්මියගේ ජීවිත අනතුර ගැන කල් ඇතිව දැනගන්නට හැකියාව තිබෙන ජ්‍යොතීර්වේදීන් ඇයට සහ ඇගේ පවුලට ඒ බව කල් ඇතිව දැනුම් දෙන්නට ඇතැයි කියා මම විශ්වාස කරමි. ඒ මන්ද යත් ඉතා තියුණු හා සියුම් ලෙස අනාවැකි කිවහැකි ජොතිෂයේ උප ප්‍රභේදයක් වන තාජික ජෝතිෂය ඉන්දියාවේ ඉතා ජනප්‍රිය හා ඒ පිළිබඳව අති දක්ෂයන් එම රටෙහි සිටින නිසාය. මේ පිළිබඳව බොහෝ දෙනකුට අත්දැකීම් ඇති බවට උදාහරණ කොතෙකුත් ඇත. එයින් එක් නිදසුනකි හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා. අවසානයේ තමා විසින්ම ගොඩනගාගත් පරිසරය නිසා ඔහුට ජීවිතයෙන් සමුගන්නට සිදුවිය. කල් ඇතිව දැනගෙනත් නිර්මාණය කරගත් පරිසරය තුළ දැයෙන් සමුගත් පුද්ගලයන් ලෝකයේ ඕනෑ තරම් සිටිය බවට රහසක් නම් නොවේ. වරදක් ඇතොත් එය ජෝතිෂය පරිහරණය කරන්නන්ගේ සහ එය අවබෝධ කරන්නන්ගේ දෝෂයක් මිස ජෝතිෂයේ වරදක් නොවන වග අවධරණය කරගත යුතුව ඇත. 

1963 අගෝස්තු 13 වැනි දින උදේ 5.18ට තමිල්නාඩුවේදි උපත ලබා ඇති ශ්‍රී දේවි 2018 පෙබරවාරි 25 වැනි දින අළුයම 4.32ට විදේශ රටකදී අනතුරකට ලක්ව අභාවප්‍රාප්ත වූවාය. මිය යනවිට ඇගේ වයස 54 සම්පූර්ණ වී තිබුණි.

2016 ජූලි 03 වැනි දින ඇයට සෙනසුරැ මහ දශාව ලබා ඇත. සෙනසුරු ඇයට ජනතා ආකර්ෂණය ලබා දෙන සස නම් වූ යෝගයක් ලෙස 7 වැන්නේ හිටියත් ජීවිතයට අනතුරැදායක බවක් ද ඇති කරන ග්‍රහයෙක් ද වෙයි. එයට හේතුව සෙනසුරු ග්‍රහයා 8 අධිපති වීමත් අෂ්ටමාමිශ දෝෂයට ලක්වීමත් ලග්නයේ 64 නවාංශකාධිපති වීමත් හේතුවෙන් ඇයට සෙනසුරුගේ දශාවක් තුළ සඳුගේ 22වන දෙර්කාණා ස්ඵුඨයේ හෝ ලග්නයේ 6 වැන්නේ අංශක 5 ස්ඵුඨය අනතුරුදායක ස්ථානයක් වෙයි. ඒ අනුව 5 වැන්නේ අංශක 27 සිට 6 වැන්නේ අංශක 14 දක්වා පරාසය තුළ සෙනසුරුගේ ගෝචරය වන කාල සීමාව ගැන අවධානයට ලක්විය යුතු බව කිව යුතුය. එහෙයින් 2017 ජූලි මාසයේ සිට 2018 අප්‍රේල් දක්වා කාලය එම පරාසය තුළ සෙනසුරු ගමන් කරන සතියක් බැවින් ඇයට අනතුරක සේයාවක් තිබෙන බව පැහැදිලි වෙයි. එය සනාථ කර ගැනීමට තාජික ජෝතිෂය උපකාරී කර ගැනීමෙන් වඩාත් නිවැරදිව දින වකවානු හඳුනාගන්නට හැකියාව ඇත. එහෙයින් අනතුරුදායක කාල සීමාව ඇති වෙන්නේ ඇයගේ 54 වන ජන්ම දිනයෙන් පසු බව තේරුම් ගත හැකි නිසා 55 වන වර්ෂ උදා කේන්දරයක් තනා පරික්ෂාවට ලක්කළ යුතුව ඇත.

ඒ අනුව ඇයගේ 55 වන වර්ෂය උදාවන මොහොත වන්නේ 2017 අගෝස්තු 13 වන ශනි දින පූර්ව භාග 01.41ට පිහිටි ග්‍රහචාරය මෙහි දක්වා ඇත.

 

මුන්ථ රාශි අධිපති හා වර්ෂාධිපති සෙනසුරු වී වක්‍රව සිටීම මෙම වර්ෂයේ ජීවිත අවදානමක් සිදුවන බවට ඉඟි කිරීමකි. මෘත්‍යු හෙවත් Death සමඟ ස්ඵුඨය සිංහ රාශියේ අංශක 23.29කි. එහි අධිපති වන්නේ රවීය. අපමෘත්‍යු හෙවත් Accidental Death සමඟ අධිපති වන්නේ ගුරුය. රවි ග්‍රහයාත් ගුරු ග්‍රහයාත් වර්ෂාධිපති හා මුන්ථ අධිපති සෙනසුරුට ඉත්ථශාල යෝග ඇති බවට පැහැදිලිව පෙන්වයි. මෙයින් පෙන්වන්නේ මෙම වර්ෂය තුළ ජීවිතයට බරපතළ ගණයේ අවදානමක් ඇති බවයි. තවද අපමෘත්‍යු සමඟ අධිපති ගුරු ග්‍රහයා 8 වැන්න අධිපති වීම ද අනතුර පිළිබඳව ස්ථිරත්වයක් පෙන්වයි. අනතුරුදායක බව මෙසේ පෙන්වද්දී මුන්ථ රාශිය 9 වැන්න වීම නිසා කිසිවිටකත් දුර බැහැර ගමන් හා විදේශ ගමන් අහිතකර බව ජෝතිෂයෙන් පෙන්වා දිය හැකිය. මෙහිදී මෘත්‍යු සමඟ රාශි ස්පුඨයේ සිට 11 වන රාශියේ අධිපති සිකුරු ග්‍රහයා තැන්පත් ස්ඵුඨයට ඇති අංශක ගණන දින ගණනට සමාන කිරීමෙන් හා එම දින ගණන 55 වර්ෂය සමරණ මොහොතට එකතු කිරීමෙන් අනතුර සිදුවන ආසන්න දිනය ලැබෙනු ඇත. ඒ අනුව දින 177ක් ලැබෙන අතර එය 2017 අගෝස්තු 13 වන දිනට එකතු කිරීමෙන් 2018 පෙබරවාරි 10 දින ලැබෙයි. එම දිනට ගෝචර සෙනසුරැ 22 වන දෙර්කාණ ස්ඵුඨය වන ධනුවේ 22 වන ස්ඵුඨය හරහා ගමන් කරන බව වැටහෙනු ඇත. අනතුරුදායක බව සනාථ කරමින් සියලු ග්‍රහචාරයන් එලෙස පිහිටා තිබියදී 2018 පෙබරවාරි දිනට ආසන්න දිනයක් වන පෙබරවාරි 25 වැනි දින ඇයගේ ජන්ම කේන්දරයේ 64 වන නවාංශකාධිපති අයත් භාවය තමිල්නාඩුවේ උදාවන මොහොතේ ඇය ජීවිතයෙන් සමුගත්තාය. ඕනෑම ජන්මියකුගේ මරණය සිදුවන මොහොත හඳුනා ගන්නට ජෝතිෂ්‍ය සිද්ධාන්තයන් කිහිපයක් ඇත. එයින් එක් අවස්ථාවක් වන්නේ ජන්මියාගේ ජන්ම පත්‍රයෙහි 64වන නවාංශකාධිපති උදාවන මොහොතයි.
ඇය දැයෙන් සමුගන්නාවිට සෙනසුරු ධනු රාශියේ සෙනසුරු අංශක 12.55දී ගමන් කර ඇති බව ජෝතිෂ්‍යය උගත් අයට දැකගත හැකිය.

ජෝතිෂ්‍ය විඥාචාර්ය සාම විනිසුරැ වෛද්‍ය ඩබ්ලිව්. තිලක් ද සිල්වා