2017 අප්‍රේල් 13 වන බ්‍රහස්පතින්දා

නවාංශකය ජීවිත විවරණයක්

 2017 අප්‍රේල් 13 වන බ්‍රහස්පතින්දා, පෙ.ව. 06:00 3674

ජම්ම රාශියෙන් මෙන්ම වඩාත්ම ජම්ම ලාභියාගේ පැහැදිලි නිවැරදි චරිතාපදානය රාශි දොළසේ නවාංශක 108 න් රසකාමී තොරතුරු අනාවරණය කෙරේ. නවාංශකය තුළින් පදිංචි නිවාසය, භූමිය, අණවින, අමනුෂ්‍ය දෝෂ, තුන්දොස්, රෝගාබාධ, සබඳතා, විවාහය, නිර්ණාමික හා නාමික සොර සතුරැ බලවේග ආදී අතීත වර්තමාන සහ අනාගත තොරතුරු හෙළිකර දෙයි.

සිංහ  නවාංශකය

අභිමානනීය වූ ශක්තිය, යුක්තිය සාධාරණය කොට සලකයි. සැප සම්පත්, ධන සම්පත් නිරතුරුවම ගලා  එයි. නිදහස් නිවහල් අභීත සිතැඟියාවන්ගෙන් පෝෂණය වූ හදවතකි. බොහෝදුරට ශක්තිමත් කායික මානසික බවක් නිර්මාණය වේ. නොසන්සුන් මානසිකත්වයක් වෛරකාරයන් ආශ්‍රිතව ගොඩනැගෙන අතර අවස්ථාවාදීව නිර්ණාමික නාමික සොර සතුරන්ට දඬුවම් දෙනු ඇත. සම්භාවනීය පිරිස් ඇසුරැ කරනා අභිමානනීය දිවිපෙවෙතකට හුරුපුරුදු ඔබ කෙරෙහි පෞඪත්වය, පෞරුෂත්වය රැඳී තිබේ.

කටක නවාංශකය

තැන්පත් සාධාරණ කාරැණික සානුකම්පික හදවතක් ඇති උදාරතර මානුෂික හැඟීම් සමුදායකින් යුක්තය. උසස් අධ්‍යාපනයකටද භාග්‍යය ඇත්තෙකි. කාගේත් ප්‍රසාදය ළඟාකර ගැනීමෙහිලා සහජ කුසලතාවය ඇත. අවිහිංසාව අගය කරමින් පරෝපකාරය සතු සානුකම්පික මෘදු මොළොක් බවක් රුඳී ඇත. විචිත්‍ර නේත්‍ර යුග්මයකින් මෙන්ම පැහැපත් සිරැරක් ද ජන්මයෙන් ලැබී ඇත. හිතමිතුරන් ඇතිකර ගැනීමේ බලය ද ඇත.

මේෂ සහ වෘෂ්චික නවාංශකය

තිරසාර හැඟීමෙන් අනූනව සිතැඟියාවන් මුදුන්පත් වනතුරා නොඉවසිලිමත්ව ක්‍රියා කරයි. උදරාබාධ මෙන්ම වකුගඩු, මුත්‍රාශය ආශ්‍රිත රෝග පීඩාවන්ද වරින් වර ඇතිවේ. තීක්ෂණ විනිවිද වූ නෙත් සඟලක් පිහිටන අතර ආහාරපාන කෙරෙහි දැඩි රැචියක් ඇත. සහජ දක්ෂතාවයන්ගෙන් අනූන වෙයි. තුරග තරග විභාග, සම්මුඛ පරීක්ෂණවලට අභීතව මුහුණ දෙයි.

මිථුන හෝ කන්‍යා නවාංශකය

නිතර පිරිසුදුව සිටීමටද විචිත්‍ර ඇඳුම් පැළඳුම් ආභරණ කෙරෙහිත් දැඩි රැචිකත්වයක් දක්වයි. සොබා සෞන්දර්ය අගය කරයි. ඥාති හිතෛෂීන් අතර බලය, ධනය පෙන්වමින් සිටී. ශුභවාදී ගතිගුණද, උදාරසම්පන්න බවටත් ඉගැනීමෙහි දක්ෂ බව කැපී පෙනෙයි. කොයි කා අතර වුවද ජනප්‍රිය චරිතයක් බවටද පත්වෙයි. තර්කානුකූලව කතාබස් කරලීමටත් ආත්ම ගෞරවය රැකගැනීමටත් උත්සහ කෙරේ.

ධනු හෝ මීන නවාංශකය

හදිසි තීරණ, ක්ෂණික කෝපය පළකෙරෙන අතර අප්‍රකටව සිටීමට නොහැක. පැහැදිලිවද නිරවුල්වද සියලු කටයුතු කිරීමෙහිලා සහජ කුසලතාවයන් මතු කෙරෙයි. සානුකම්පික හදවතින් නිතර ක්‍රියා කරයි. රසවත් ආහාරපාන රැචි කරයි. උසස් අධ්‍යාපනය සඳහා භාග්‍යය වාසනාව ලැබේ. මිතුරැ ඇසුරැ ප්‍රිය කරයි. දිගාසිරි ලබයි. අධ්‍යාත්මික ජීවිතයට නැඹුරැයි. පරාර්ථචර්යාව අගය කරයි. අවබෝධඥාන ශක්තිය පිළිබඳ සතුටුදායකයි.

මකර හෝ කුම්භ නවාංශකය

අන්‍යයන් නිතර  විවේචනයට රැචි කරයි. ක්ෂණික කෝපය සියලු කටයුතු අඩපණ වී යාමට හේතුවයි. සිතැඟියාව නිතර වෙනස් වේ. අධ්‍යාත්මක අංශයට යොමුවුවහොත් බොහෝදුරට දියුණුව ළඟ කර ගත හැක. වෙළෙඳ ව්‍යාපාරික කාර්යයන්හිදී උසස් තත්ත්වයකට පත්විය හැක. දේශපාලනික හෝ විද්‍යුත් අංශවලින් ඉදිරියටම යා හැකිය.

 කොත්මලේ විජිත ඩී ලියනාරච්චි