අඟහරු ග්‍රහයා කලබලකාරී ග්‍රහයෙකි. මෙම ග්‍රහයා විවිධ බලපෑම් ඇති කිරීමට නම් දරා ඇත. අඟහරැ ග්‍රහයා එක් රාශියක මාස දෙකකට අධික කාලයක් ගමන් කරයි. ඇතැම්විට රාශියක මාස 7 – 8 එක දිගට ගමන් කරන අවස්ථා ද ඇත.
2018 මැසි මස 05 දින සිට අඟහරු බලවත් උච්ඡ රාශියක් වන මකර රාශියේ ගමන් කරන්නට පටන් ගනී. මෙම ගමන නොවැම්බර් මස 8 වැනිදා දක්වා පවතී. මෙලෙසට අඟහරු මකර රාශියේ ගමන් කිරීම වැනි ග්‍රහචාරයක් මෙයට පෙර යෙදී තිබණේ 1971 වර්ෂයේ අප්‍රේල් මාසයේදීය. ඒ මෙයට අවුරුදු 48කට පෙරය. එම සමයේ අපේ රටේ දේශපාලන හා මහජන වටපිටාවේ විවිධ වූ අයහපත් සිදුවීම් ඇති වූ බව අපට මතකය. අද වනවිට රට එම ග්‍රහචාරයට යළි පත්වී ඇති අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් ඒ හා සමාන සිදුවීම් අපේ රටේ ඇතිවීම ආරම්භ වෙමින් පවතී. කැරලි කෝලාහල, වර්ජන, ජනතා අසහනය, බලාපොරොත්තු කඩවීම්, බොහෝ දෙනාගේ අපේක්ෂා භංගත්වයට පත්වීම ආදිය සිදුවෙයි. මැයි මාසයට ආසන්න කාලයේදී මෙම තත්ත්වය උග්‍රවනවා ඇත.
මේ හේතුවෙන් රටේ බරපතල දේශපාලන අර්බුදයක් ඇතිවේ. රටේ පාලකයන්ගේ ලොකු වගකීමක් වන්නේ මෙම කාලය තුළ ජනතාව ප්‍රකෝප කර නොගෙන සාමකාමීව තැබීමට වෙර දැරීමයි. මෙහිදී පාලකයන් බොහෝ කල්පනාකාරීව කටයුතු කළයුතු අතර බැරිවෙලාවත් දැඩි මර්දනකාරී වැඩ පිළිවෙළකින් මෙම තත්ත්වය යටපත් කිරීමට උත්සහ ගන්නේනම් එයින් වැඩිවශයෙන් අයහපත් ප්‍රතිඵල ලැබෙනු ඇත. ඒ නිසා ජනතාවට හිරිහැර නොකර තත්ත්වය විසඳීමට කටයුතු කළ යුතුවේ. මේ තත්ත්වය උග්‍ර වී රටේ ලොකු දේශපාලන හා සමාජ අර්බුද ඇතිවීමට ඇති ඉඩකඩ අධිකය.
පවතින මැතිවරණවලදීද, මැතිවරණ පැවැත්වීමෙන් පසුවද ජනතාව තුළ ප්‍රකෝපකාරී සිදුවීම් ඇතිවීමෙන් අයහපත් ප්‍රතිඵලවලට රටටම මුහුණදීමට සිදුවේ. පොදු හා පෞද්ගලික දේපලවලට හානි ද සිදුවිය හැකිය. ප්‍රාදේශීය සභා ඡන්දයට මෙම තත්ත්වය බලපාන අතර ජනතාව ඡන්දය පාවිච්චි කරන්නේ හිතවත්කම, ඥාති මිත්‍රත්වය ආදී පෞද්ගලික කරුණු මුල්කරගෙනය. එසේ නැතුව රට ගැන හිතා තම ඡන්දය දැමීමට කටයුතු නොකෙරෙනු ඇත. මෙම තත්ත්වය මත දූෂණයට වංචාවට නම් දැරූ පක්ෂවල අපේක්ෂකයන් ද ජයග්‍රහණය කිරීම සිදුවේ. අඟහරැගේ හැසිරීම තුළින් පෙන්වන්නේ ජනතාව නොමග යවා දේශපාලන බලය ලබා ගැනීමට දේශපාලන පක්ෂ උත්සහය දරන බවයි.
මකර රාශිය යනු ශ්‍රී ලංකාව වැනි කලාපයකට බලපාන ප්‍රබල රාශියකි. මෙම රාශිය තුළ අඟහරැ බලවත්වීම නිසා බලය පෙන්වීමට උත්සහ කරන අයට උඩගෙඩි දීමක් සිදුවේ. ඒ නිසා එහි බලය මර්දනය කිරීමට විවිධ ප්‍රතිවිරෝධී වැඩ පිළිවෙළවල් දියත් වනු ඇත. පාලකයන් රට සාමකමී කිරීමේදී මෙම තත්ත්වය අවබෝධ කරගෙන කටයුතු කළ යුතුය. රටේ බලය වෙනත් පැත්තකට ගමන් කිරීම සඳහා පුද්ගලයාගේ ග්‍රහචාරය ද බලපානවා ඇත. පුද්ගල සමූහයකගේ ක්‍රියා කලාපය නිසා වෙනසක් රට තුළ නිර්මාණය වේ.
රටේ නායකයා වන මෛත්‍රීපාල ජනාධිපතිතුමාගේ කේන්ද්‍රයේ අඟහරුගේ අතුරු දශාව මේ දිනවල පවතී. ඔහුගේ කේන්ද්‍රෙය් 4වන කොටුවට අඟහරැ පැමිණේ. ඒ නිසා ඔහු බලය පාවිච්චි කර ස්වකීය ස්ථාවර භාවය රැකගැනීමට උත්සාහ කරනවා ඇත. එය හොඳ හෝ නරක වන්නේ ඔහු ගන්නා වැඩපිළිවෙළ අනුවය. මෛත්‍රී අඟහරුගේ බලය ආරෝපණය වීමෙන් කටයුතු කරයි. අඟහරු දැඩි කලබලකාරී ග්‍රහයකු නිසා ඔහුගේ තීරණ හේතුවෙන් ජනතා අසහනයන් ඇතිවීමට ඉඩ ඇත. මෙහිදී රටේ ප්‍රශ්නවලට වඩා ස්වකීය බලය ආරක්ෂා කර ගැනීමට උත්සාහ කෙරේ.
ඒ නිසා ජනාධිපතිවරයා රටේ නායකයා ලෙස ජනතාවගේ අවශ්‍යතා හඳුනාගෙන කටයුතු කළ යුතුවේ. කල්පනාකාරී තීරණ නොගන්නේ නම් නරක ප්‍රතිකවිපාකවලට භාජනය වීමට සිදුවෙනවා ඇත. රටේ සිදුවිය හැකි කැරලි කෝලාහල, ජනතා නැගීටීම්, උද්ඝෝෂණ, වීථි සටන් පිළිබඳ ඉතාම සැලකිල්ලෙන් හා අවබෝධයෙන් කටයුතු කිරීමට වග බලා ගැනීම වැදගත්ය.
ජ්‍යොතිෂාචාර්ය තිලක් ද සිල්වා
මාලබේ