2018 අගෝස්තු 25 වන සෙනසුරාදා

රජකම ලැබෙන ගජකේශරී යෝගය

 2018 අගෝස්තු 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 4100

අපි කවුරුත් ධනවත් වීමට කැමැත්තෙමු. එසේම ඉහළ තනතුරුවලට යාමටද ඇත්තේ අධික තණ්හාවකි. එහෙත් හැමදෙනාටම ධනවත් වන්නට හෝ තනතුරු තානාන්තර ලබන්නට හෝ නොහැකිය. කොතරම් උත්සාහ කළත් නොලැබෙන අවස්ථාද තිබේ. සමහරුන් උසස් තැන් ලබාගැනීමට ශ්‍රමය ධනය වැයකර අන්තිමට හිඟන්නෝ වෙති. එහෙත් තවත් කොටසකට කිසිදු උත්සාහයකින් තොරව උසස් තනතුරු ලැබේ. ධන ධාන්‍යයෙන් ආඨ්‍ය වෙයි. මෙයට හේතු කවරේද? තම උත්පත්ති කේන්ද්‍රයේ මෙලෙස ධනය හා තනතුරු ලබාගැනීමට අවශ්‍ය ග්‍රහයෝග නොමැති නම් කොතරම් උත්සාහ කළත් ඒවා ලබාගත නොහැකිය.

මකරය කුජ ග්‍රහයාගේ උච්චක්ෂේත්‍ර රාශියයි. මෙහිදී මේෂය වෘශ්චිකය, ස්වක්ෂේත්‍ර රාශි දෙක වශයෙන් සඳහන් කළ හැකිය. ජන්ම ලාභියකු කේන්ද්‍රයේ ශුභ ස්ථානගතව කුජ ග්‍රහයා බලවත්ව තේජවන්තව සිටින විට අනිවාර්යයෙන්ම සුබ ඵල ගෙට ගෙනවිත් දෙයි. හත, හය, එකොළහ සයනස්ථාන කේන්ද්‍රයක සසඳා බලන විට කුජ ග්‍රහයාට සුබ ස්ථානය එය බව හැඟී යයි. තවදුරටත් කේන්ද්‍රය විග්‍රහාත්මකව විමර්ශනයට ලක් කිරීමේදී පහ, නවය, දහය යන ස්ථානවලින්ද සුබ ඵල උදාකරදෙන බව පෙනී යයි. මේ අනුව විමසිලිමත්ව සලකා බලා පරිපූර්ණ විග්‍රහයක නිරතවීමේදී ජන්මියා මෙලොව එළිය දුටු ලග්නයේ තුන, හය, එකොළහ යන ස්ථානයකට නෑකම් කීමෙහි තේජවන්ත බලවත් වැජඹීම් තුළින් ගජ කේශර යෝගය උදාකෙරෙන බව ජ්‍යොතිෂයෙන් සනිටුහන් කර ඇති බව පෙනී යයි.

ගජ කේශර යෝගය ගැන ගැඹුරට සිතා විග්‍රහයක් කර බැලීමේදී මෙය ඉතා සුබ ඵල දෙන ග්‍රහයෝගයක් බව සනාථ කර ඇත. මෙම සුබ ග්‍රහයෝගයන්ගේ ඇල්ම බැල්ම ඇතිවන්නේ ජන්මීන්ට පමණක් නොව, සියලු සත්වයන්ට හා වෘක්ෂලතාවලටද එකසේම බලපාන බව සඳහන් කළ හැකිය. ඔබ පොකුරු යෝග උදාකරන බව අසා ඇතිවාට සැකයක් නැත. මේවා බොහෝදුරට බලපාන්නේ ස්වභාවධර්මයේ දායාදයක් වන ඵලවලටයි. පළතුරු වර්ග, අල වර්ග සිටුවීමට ඔබ අදහස් කරන්නේ නම් ඉන් විපුල ඵල ප්‍රයෝජන ලැබීමට නම් ඉහත කී පොකුරු යෝග ඉවහල් කරගත යුතුය. බොහෝ අයෙක් තම ගෘහස්ථයේ සතුන් ඇතිකිරීම කරති. ඒවාද සුබ මොහොතින් ඇරඹීම උන්ගෙන් ලබාගන්නා ඵල ප්‍රයෝජන උපරිම ලෙස උකහාගැනීමට මාර්ගයක් බව කිව යුතුය. කොයිම කාර්යයක් වුවද නැකතට පටන් ගැනීම ඉතාමත් සුලභ අත්දැකීමකි.

ගජ කේශරී යෝගයෙන් උත්පත්තිය දායාද කොටගත්තෝ සැප සම්පතින් ආඨ්‍ය පුද්ගලයෝ වෙති. ඔවුහු ඓශ්චර්යයෙන් මෙන්ම ගරු ගාම්භීරකම අතින්ද ඉහළ ස්ථානයක වැජඹෙති. මොවුන්ට ලැබෙන නොයෙක් අන්දමේ වස්තු අතරට රත්තරං, රිදී මුතු, මැණික්, තඹ වැනි දේද එක්වන්නේ තියෙන තැනට සියල්ල එකතුවන්නා සේය. යමෙකු ලබන සම්භාවනීය සෞභාග්‍ය වස්තු සම්පත් රාශියකට හිමිකම් කියන මොවුහු ඉතාමත් ආකර්ශනීය ලෙස සුඛෝපභෝගී ජීවිත ගත කරති. කොටින්ම කියනවා නම් ගජ කේශරි යෝගයෙන් උපත ලැබුවෝ සකලවිධ දේවල් ලැබීමට රුසියෝය. ශූරයෝය. නැතිබැරිකම් අගහිඟකම් මොවුන් හීනෙන්වත් දැක නැති අතර, හඳුනන්නේද නැත. දුක නොතේරේ. මේ පිළිබඳ විමර්ශනය කර බලනවිට පෙනීයන කරුණක් නම් මැණික්, මිනිරන්, සකලවිධ ලෝහයන්ගෙන් සැදුම්ලත් මහා පරිමාණයේ පතල්කරුවෝ මෙම යෝගයෙන් උපන් අය වෙති. අහස උසට මාලිගා ගොඩනගාගෙන රජවරුන් දෙවිවරුන් මෙන් සකල ලෞකික සම්පත් ලැබීමේ භාග්‍යය ඔවුහු ලබති. ඔවුහු ගජ කේශරි යෝගයේ අනුභාව සම්පන්න ඓශ්චර්ය බලය සාකල්‍ය ලෙසට ලබා උපන්නෝ වෙති.

මෙවන් යෝගයකට ප්‍රමාණික පරිසරය සකස් කරන්නේ කුජ නොහොත් අඟහරු ග්‍රහයායි. පොළොවෙන් ලබන මිල මුදල්, වස්තුවලට අධිපතියා කුජ ග්‍රහයායි. අඟහරු නිසා මෙලොව බබළවන ධන කුවේරයෝ එඩිතර බවින්, කාර්යශූර බවින්, දැඩි ආත්මශක්තියෙන් පරිපූර්ණ වෙති. ගජ කේශරී යෝගයේ අප්‍රතිහත ධෛර්යය හා ස්වභාවය අතගසන සියල්ල සාර්ථක වී ඉදිරියටම යාමයි.

තවදුරටත් කේශරී යෝගය පිළිබඳ සොයා බැලීමේදී තවත් උදාහරණ දැක්විය හැකිය. එකොළොස් වැනි ස්ථානය මේෂ රාශියක් නම් ජන්මියා උත්පත්තිය ලද්දේ මිථුන ලග්නයෙනි. මෙම මේෂ රාශියේම එකොළොස්වැන්නේ කුජ ස්වක්ෂේත්‍රව යෙදෙන විට ගජ කේශරි යෝගය ජන්මියාට දායාද කොට දෙයි. කුජ ග්‍රහයා උපරිම බලවත්ව මේෂ රාශියේම එකොළොස්වැන්නේ කුජ ස්වක්ෂේත්‍රය යෙදෙන විටද ගජ කේශර යෝගය ජන්මියාට උරුම වේ. මේෂ රාශියේ තුන්වැන්නේ කුම්භ ලග්නයේ යෙදීමද ගජ කේශර යෝගයයි.

මේ අනුව පෙනී යන්නේ ගජ කේශරී යෝගය කෙනකුට උත්පත්තියෙන් ලැබෙන්නේ පෙර පින් පලදීමට බවය.

දේශමාන්‍ය ජ්‍යොතිෂ විද්‍යා විශාරද
මහාචාර්ය හේමපාල පතිරණ