2018 නොවැම්බර් 24 වන සෙනසුරාදා

බල ගැටුම උග්‍රවෙයි!

 2018 නොවැම්බර් 24 වන සෙනසුරාදා, ප.ව. 12:30 124

ග්‍රහ මණ්ඩලයේ සියලුම ග්‍රහයන් මේ වනවිට රාහු හා කේතුගේද සෙනසුරුගේද පාලනයට යටත්ව ගමන් කිරීමක් සිදුවේ. වාශ්චික රාශිගත රවි සෙනසුරුට අයත් අනුර නැකතේද අඟහරු කුම්භ රාශිගතව රාහුට අයත් සියාවස නැකතේද බුධ වෘශ්චික රාශිගතව සෙනසුරැට අයත් අනුර නැකතේද ගමන් කරයි. එසේම බ්‍රහස්පතිද වෘශ්චික රාශිගතව සෙනසුරැට අයත් අනුර නැකතේ ගමන් කරන අතර සිකුරු අඟහරැට අයත් සිත නැකතේ හා සෙනසුරු කේතුට අයත් මූල නැකතේද ගමන් කරයි. රාහු සෙනසුරුට අයත් පුෂ නැකතේද ගමන් කරන අතර යුරේනස් ගමන් කරන්නේ කේතුට අයත් අස්විද නැකතේය. එසේම නැප්චූන් කුම්භ රාශිගතව රාහුට අයත් සියාවස නැකතේද ගමන් කිරීමක් සිදුවනු ඇත. නැප්චූන් 2019 ජනවාරි 3 වැනි දින දක්වාද 2020 අගෝස්තු දක්වාද රාහු 2019 ජනවාරි දක්වාද මෙලෙස ගමන් කරයි.

මෙම තත්ත්වය අප රට කෙරෙහි කෙසේ බලපානවාද යන්න සොයා බැලිය යුතුය.

මෙය අප රටට ඉතා අවාසනාවන්ත සිද්ධි මාලාවක් සිදුවන්නාවූත් කාල වකවානුවක් වනු ඇත. පාලනය කළ නොහැකි ලෙස හදිසි මහජන කැළඹීම් උද්ගත වේ. මහජනයා රැස්වන ස්ථාන ආශ්‍රිතව මෙන්ම රාජ්‍ය ආයතනවලට සම්බන්ධවද යම් යම් අර්බුදකාරී වාතාවරණ හටගනී. අධ්‍යාපන කටයුතුවල නිරතව සිටින දූ දරුවන්ටද ඉතා අයහපත් වන අතර හදිසි විපත්වලට මුහුණදීමටද සිදුවනු ඇත. රජයේ උසස් නිලයක් දරණ ප්‍රභූවරයකු නින්දාවට භාජනය වන අතර මහජනයාගේ අප්‍රසාදයටද ලක්වනු ඇත. එසේම දේශපාලන කටයුතුවල නියැලි රාජ්‍ය නායකයකුට මාරකයක් ඇතිවනු ඇත. ස්වාභාවික විපත්ද හදිසි සුළි කුණාටු, ජල ගැලීම්ද භූමියේ ගිලාබැසීමක්ද ඇතිවන අතර මේ හේතුවෙන් මහජනයාගේ දෛනික ජීවිතයට බාධා එල්ල වේ. මහජන දේපල හා ජීවිත අනතුරට පත්වන්නාවූත් වකාවානුවක් බැවින් සියලු දෙනා ඉතා කල්පනාවෙන් තමා අදහන ආගමට දහමට අනුකූලව ධාර්මිකව ජීවිතය ගත කළ යුතු කාලසීමාවක් බව පෙන්වා දෙමි.

මේෂ - දුර වන්දනා ගමන්

ඔබ පදිංචි ස්ථානය ආශ්‍රිතව යම් යම් ප්‍රශ්න ඇතිවන අතර විදේශගත වීමේ අපේක්ෂාවෙන් සිටියේ නම් එම බලාපොරොත්තුව ඉෂ්ඨ වනු ඇත. දුර බැහැර වන්දනා ගමනකටද සහභාගි වීමට අවකාශ ලැබෙන අතර යම්කිසි රෝග පීඩාවකින් පීඩා වින්ඳේ නම් එය දුරැවී යනු ඇත.

වෘෂභ - සේවා මාරුවීම්

සේවා ස්ථානයෙහි මාරැවීමක් අපේක්ෂා කළ අයකු නම් එම බලාපොරොත්තුව ඉෂ්ඨ කරගත හැකි වේ. හදිසි ශරීර පීඩාද මතුවනු ඇත. පිටස්තර අයගෙන් උදව් අපේක්ෂා කළද තමාට එම උදව් නොලැබෙනු ඇත.

මිථුන - උදර පීඩා

පවුල් දිවියේ සමගියට බාධා ඇතිවන්නාවූත් වකවානුවකි. ව්‍යාපාරික කටයුතුවල නිරත වී සිටින අයට ලාභ අඩුවන කාලයක් වන අතර ඉතිරිකර ගැනීමටද බාධා එල්ල වේ. උදරය ආශ්‍රිත පීඩාවක් මතුවනු ඇත.

කටක - නිවසෙන් පිට

දුර ගමනක් යෙදෙන අතර වැඩිපුර නිවෙසේ රැඳෙනවාට වඩා පිට සිටීමට සිදුවනු ඇත. හදිසි ශරීර පීඩා ඇතිවිය හැකි බැවින් ප්‍රවේසම් වන්න. මිතුරන්ගෙන්ද ප්‍රශ්න ඇතිවිය හැක. තමන්ගේ කටයුතුවලට බාධා ඇතිවනු ඇත.

සිංහ - ලාභ අඩුවේ

ව්‍යාපාරික කටයුතුවල නිරත වී සිටින අයකු නම් ලාභ අඩුවන වකවානුවකි. විදේශගත වීමේ අපේක්ෂා ඉටුවනු ඇත. ඉඩමක් හෝ නිවසක් මිලදී ගැනීමේ බලාපොරොත්තු ඉටුවෙයි.

කන්‍යා - හදවත් රෝග

ඔබට එරෙහිව පැවති සතුරු බලවේග පරාජයට පත් කිරීමට හැකියාව ලැබේ. උරැම හිමිකම් ලබාගැනීමට හැකියාව අත්වනු ඇත. පිටස්තර අයගෙන් උදව් උපකාර ලබාගැනීමට නොහැකි කාලයක් වේ. හෘදය ආශ්‍රිත පීඩාවක් මතුවනු ඇත.

තුලා - ආර්ථික අපහසුව

හදිසි කේන්ති ගති පාලනය කළ යුතු වකවානුවකි. ආර්ථික අපහසුතා මතුවනු ඇත. විරුද්ධ ලිංගික ආකර්ශනයට ලක්වේ. යම් යම් කටයුතුවලට බාධා එල්ල වේ.

වෘශ්චික - ඉඩකඩම් ගැටලු

ගෙදරට වඩා පිට සිටීමට සිදුවන වකවානුවක් වේ. උරැම හිමිකම් අත්පත් කරගත හැකිවන අතර ඉඩකඩම් ආශ්‍රිතව පැවති ප්‍රශ්න මඟහැරී යනු ඇත. හදිසි කේන්ති ගති පාලනය කරගත යුතු වේ.

ධනු - තාක්ෂණයට හොඳයි

ඔබගේ කටයුතුවලට විවිධ බාධා මතුවේ. පවුල් දිවියේද සහෝදරයන් සමඟද මතගැටුම් ඇතිවනු ඇත. තාක්ෂණික කටයුතුවල නිරත වී සිටින අයට ශුභ ඵල අත්වනු ඇත.

මකර - ව්‍යාපාරවලට ශුභයි

තම අයිතිය රැකගෙන කටයුතු කිරීමට උත්සාහ දරන වකවානුවක් වේ. දුර ගමන් යෙදෙනු ඇත. දේශපාලනික කටයුතුවල නිරත වී සිටින අයට ශුභ ඵල ගෙන දේ. ව්‍යාපාරික කටයුතු සඳහාද ශුභ ඵල ගෙනදෙනු ඇත.

කුම්භ - මිතුරන්ගෙන් උදව්

හදිසි කේන්ති ගති පාලනය කරගත යුතු වකවානුවකි. මිතුරන්ගෙන් උදව් උපකාර අත්වනු ඇත. විදේශගත වීමේ අපේක්ෂාවන් සිටියේ නම් එම අපේක්ෂාද ඉටුකරගත හැකි වේ.

මීන - බොරු ආරංචි

ආගමික කටයුතුවලට වැඩිපුර සහභාගි වනු ඇත. බොරැ ආරංචි නිසා හිතට වදවීම් ඇතිවනු ඇත. අධ්‍යාපන කටයුතුවලට බාධා එල්ල වේ. කෙසේ වුවද සිතේ සහනය අඩු කාලයක් වේ.

ජ්‍යොතිෂ නන්දන
ප්‍රවීණ ජ්‍යොතිෂවේදි ජ්‍යොතිෂාචාර්ය
රේණුක වික්‍රමසිංහ
සුවණැන ජ්‍යොතිෂ පර්යේෂණායතය
ඔලබොඩුව, ගෝනපල

 

 2024 නොවැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00