2022 අප්‍රේල් 24 වන ඉරිදා

ලිංගික ශක්තියට මැජික් පෙත්ත හොඳද?

 2022 අප්‍රේල් 24 වන ඉරිදා, පෙ.ව. 10:00 1166

ලිංගික ශක්තියට “මැජික් පෙත්ත” හොඳද?

මම 67 හැවිරිදි විශ්‍රාමික රජයේ සේවකයෙක් වෙමි. සිවුදරු පියෙකි. කලකට පෙර ඇතිවූ හෘදයාබාධ තත්ත්වයකින් පෙළෙමි. වෛද්‍ය උපදෙස් මත මහන්සි වී වැඩ නොකරමි. හෘද රෝග වෛද්‍ය නිර්දේශයක් මත ටීඑන්ටී (TNT)  පෙත්ත ලබා ඇත්තෙමි.  මම මේ වනවිට ලිංගික අප්‍රාණිකත්වයෙන්ද පීඩා විඳිමි. ලිංගික සංසර්ගයට අවශ්‍ය වුණත්  ලිංගය අප්‍රාණික වී තිබේ. විටෙක දුකක්ද විටෙක තරහක්ද දැනේ. මෙයට ප්‍රතිකාර තිබේද? ලිංගික ප්‍රාණිකත්වයට හැමෝම කතාවෙන “මැජික් පෙත්ත” කියලා හඳුන්වන ව්‍යාඝ්‍රා  පෙති ගැනීම හොඳයිද? එහි ප්‍රතිඵල තියෙනවාද? මේ ව්‍යාඝ්‍රා පෙත්තෙන් අතුරු ආබාධ තියෙනවාද? වෛද්‍යතුමනි, පැහැදිලි කිරීමට හැකි නම් මැනවි.

සමරසිංහ - කළුතර

උපදෙස:

පිරිමි පුද්ගලයකුගේ ලිංගික ක්‍රියාකාරිත්වයට වයස බාධාවක් නොවෙන්න පුළුවන්. එසේ සිදුවන ලිංගික ක්‍රියාකාරීත්වය එකිනෙකාට වෙනස්වෙයි. එකම පුද්ගලයාගේ වුවත් විවිධ කාලවලදී වෙනස්වීමක් වීමට පුළුවන්. ලිංගික ක්‍රියාකාරීත්වය වැඩිහරියක් රඳාපවතින්නේ ඔහුගේ මානසික ක්‍රියාකාරීත්වය මතයි. දියවැඩියාව ආදී කායික රෝග හේතුවෙන් ලිංගික ක්‍රියාකාරීත්වය සහ ප්‍රාණවත්වීම අඩාල වෙන්නත් පුළුවන්. ඔබට හෘදයාබාධයක් ඇති බවට කියා තිබෙනවා. ව්‍යාඝ්‍රා නමැති ඖෂධය තහනම් ඖෂධයක්. එහෙයින් ඔබ විමසා සිටින ව්‍යාඝ්‍රා නමැති ඖෂධය හෘදයාබාධ රෝගීන්ට ලබාදීම කිසිසේත් අනුමත කළ නොහැකියි. ඔබට වෙනත් කායික අසනීපයක් ඇත්දැයි සුදුසුකම් ලත් කායික විශේෂඥ වෛද්‍යවරයකු මගින් පරීක්ෂා කර බලන්න. ලිංගික අප්‍රාණිකවීමට වෙනත් රෝගී තත්ත්වයක් බලපා ඇත්දැයි පරීක්ෂා කර බැලීම සුදුසුයි. කිසිදු හේතුවකට ව්‍යාඝ්‍රා ඖෂධය භාවිතයට නොගන්න.

දියවැඩියාව හොඳටම සුව කරගන්න තෙබු කොළ කීයක් ආහාරයට ගත යුතුද?

මම දීර්ඝකාලීනව දියවැඩියා රෝගයෙන් පෙළෙමින් සිටිමි. වෛද්‍ය උපදෙස් සහ ප්‍රතිකාරද ගනිමි. එහෙත් බේත්වලට වැඩිය තෙබු කොළ ආහාරයට ගත්තාම දියවැඩියාව හොඳ වෙනවා කියා අසා තිබෙනවා. වෛද්‍යතුමනි, මට දැනගන්න වුවමනා වන්නේ තෙබු කොළ වැඩි ප්‍රමාණයක් ආහාරයට ගැනීමෙන් දියවැඩියාව එකවර සම්පූර්ණයෙන් සුවකරගත හැකිවේවිද? දියවැඩියාව සම්පූර්ණයෙන් සුවකරගැනීමට තෙබු කොළ කීයක් ආහාරයට ගත යුතුද? උපදෙසක් බලාපොරොත්තු වෙමි. 

ශ්‍රියානි - වලස්මුල්ල

උපදෙස:

දියවැඩියාවට ලබාදෙන ඖෂධ අදාළ මිලිග්‍රෑම් ප්‍රමාණවලින් රුධිරගත සීනි මට්ටම අඩු වෙන ප්‍රතිශතය තීරණය කළ හැකිය. එහෙත් තෙබු කොළ වැනි දෙයක් ඇඟිලි ගණන් කර ආහාරයට ගැනීම රුධිරගත අවශ්‍ය සීනි මට්ටම අසීමාන්තිකව පහළ දමා සිරුර දුර්වල කිරීමට හේතුවෙයි. අනවශ්‍ය ලෙස සීනි අඩු කිරීමෙන් ස්නායුවලට පවා හානි වීමේ අවදානමක් ඇත. එහෙයින් විද්‍යානුකූල ඖෂධ ලබාගැනීම මිස කාගේවත් කීමට හෝ හිතු හිතූ ආකාරයට ප්‍රතිකාර ලබාගැනීම නුසුදුසුය. මෙහිදී සඳහන් කළයුතු විශේෂම දෙයක් වන්නේ ලංකාවේ වෛද්‍යවරුන් හැර අනෙක් බොහෝදෙනා වෛද්‍ය උපදෙස් ලබාදීමයි. ඕනෑම දෙයකට උපදෙස් ගන්නවා නම් ඒ අදාළ විෂය ප්‍රවීනයකුගෙන් උපදෙස් ලබාගැනීම තමා සුදුසුම දේ. දියවැඩියාව සුව කරගැනීමේ අරමුණින් දකින දකින කොළ වර්ග ආහාරයට ගැනීමෙන් වළකින්න.

උගුරු දණ්ඩට උඩින් ගැටයක් වගේ අහුවෙනවා.

මට ප්‍රශ්න දෙකක් තිබේ. පළමුවැන්න නම් මගේ සැමියාට නිතරම දහදිය දමනවා. දැඩි රස්නයක් නැති වෙලාවට පවා ඔහුට ගොඩක් දහදිය දානවා. ඒ ඇයි? යන්නයි.  දෙවැනි ප්‍රශ්නය වන්නේ සැමියාගේ නිකටට පහළින් උගුරු දණ්ඩට ඉහළින් ගැටයක් වගේ අල්ලද්දී අහුවුණා. වෛද්‍යවරයකුගෙන් ප්‍රතිකාර ගත්තත් ඒ ස්වභාවය ආයෙත් තියෙනවා. මට දැනගන්න ඕනෑ මේක ලෙඩක්ද? කියලා. සම්පූර්ණ සුවය ලැබීමට ප්‍රතිකාර කළ හැකිද?

ධම්මිකා - කුරුණෑගල

උපදෙස:

බොහෝ විට මෙය තයිරොයිඩ් ග්‍රන්ථියේ ඉදිමුමක් වීමට පුළුවන්. තයිරොයිඩ් ග්‍රන්ථියේ හැදෙන තයිරොක්සින් යන හෝර්මෝනය මගින් තමා ශරීරයේ සියලු දේ පාලනය කරන්නේ. හෝර්මෝන ක්‍රියාකාරීත්වයේ වෙනසක් තියෙනවාදැයි රුධිර පරීක්ෂාවක් මගින් පරීක්ෂා කර බැලිය යුතුයි. එසේම ඔබ විමසා සිටින අනෙක් ප්‍රශ්නය අනුව වැඩිපුර දහදිය දැමීම, නින්ද නොයාම තයිරොයිඩ් ග්‍රන්ථියේ අධි ක්‍රියාකාරීත්වය හේතුවෙන් ඇතිවන්න පුළුවන්. උගුරු දණ්ඩේ ගැටලුවක්ද එසේත් නැතිනම් උගුරේ වෙනත් ගැටලුවක්දැයි බැලීමට අල්ට්‍රා සවුන්ඩ් පරික්ෂණයක් මගින් පරික්ෂා කර බැලිය යුතුයි. කායික රෝග වෛද්‍යවරයකු මගින් පරික්ෂා කර බලා වැඩිදුර අවශ්‍ය වුවහොත් ශල්‍යාගාර පරික්ෂණ සිදුකළ හැකිය.

බර වැඩ කරද්දී අත රිදෙනවා

මාස 6කට විතර කලින් සිදුවූ අනතුරකින් වැටී මගේ අතේ මැණික් කටුව ළඟින් කැඩුණා. උරහිස ළඟත් දරුණු වේදනාවක් තිබුණා. ආයුර්වේද වෛද්‍යවරයකුගෙන් බෙහෙත් බැන්දා.
ඊටපස්සේ ටික දවසක් යද්දී අතේ එතැන හයිවෙලා. ඒත් අතින් තදින් මොනවත් අල්ලන්න බැහැ. අත කඩන් වැටිල වගේ දැනෙන්නේ. බර වැඩ කරද්දී අත රිදෙනවා. උරහිසත් රිදෙනවා. දැන් ඒ වේදනාව වැඩිවෙලා. වෛද්‍යතුමනි, මා කුමක් කළ යුතුද?. 

සමන් - ඇල්පිටිය

උපදෙස:

මා මෙසේ පැවසීම ආයුර්වේද වෛද්‍ය විද්‍යාව අවතක්සේරු කිරීමක් නොවන බව පළමුවෙන් කිව යුතුයි. අස්ථි බිඳීමකදී ඒ වෙන් වූ අස්ථි දෙක කෙළවර යම් කාලසීමාවක් එක්කර තිබීමෙන් ටික කලකින් එය ඉබේම සවි වෙනවා. අස්ථියක් බිඳුනාම කළ යුතු සුදුසුම දේ වන්නේ අස්ථිය සෙලවීමකින් තොරව තබා ගැනීමයි. යම් සෙලවීමක් වී ඇද වීමක් වුවහොත් සවි වීමේදීත් එම අතට එය බලපානවා. වැඩිහිටියකුගේ අස්ථි වර්ධනයට ගතවන කාලය වැඩියි. අස්ථි සෙලවීමකින් තොරව ප්‍රතිකාර කිරීමට හැකි නම් එය තමා සුදුසුම විද්‍යාත්මක උචිත ප්‍රතිකාරය වන්නේ. අස්ථි ඇද වී සවිවුවහොත් එය බොහෝ ගැටලුකාරී තත්ත්වයක් විය හැකියි. මෙහිදී සුදුසුම ක්‍රමවේදය වන්නේ එක්ස්රේ පරීක්ෂණයක් මගින් පරීක්ෂා කර බලා අස්ථි සම්බන්ධ ශල්‍ය වෛද්‍යවරයකුගෙන් උපදෙස් සහ වැඩිදුර ප්‍රතිකාර ලබාගැනීමයි. ඇතැම් අසීරු අවස්ථාවල පවා ඇතුළෙන් ඇණ දමා හෝ ප්‍රතිකාර කර සුව කිරීමටද පහසුකම් තිබෙනවා. ඔබට ලබාදෙන උපදෙස වන්නේ ළඟම පිහිටි රෝහලට ගොස් අස්ථි සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයකුගෙන් ප්‍රතිකාර ලබාගත යුතු බවයි.

රෝහල් බෑගයක් හදිසි රෝහල් ගතවීමකදී වටී

මගේ වයස අවුරුදු 58යි. මා අධි රුධිර පීඩනයට ප්‍රතිකාර ලබාදීමට එක්තරා රෝහල් සායනයකට ගිය අවස්ථාවේ කිසිදු පෙර ප්‍රතිකාරවල ලේඛන නොමැති බව කියමින් වෛද්‍යවරයකු මා වෙත දෝෂාරෝපණය කළා. සායනයට පැමිණ සිටි අනෙක් පිරිස ඉදිරියේ  මා වඩාත් කණස්සල්ලට මෙන්ම දැඩි අපහසුතාවට පත්වුණා. වෛද්‍යවරයකුට එසේ රෝගියකු අපහසුතාවට ලක්කළ හැකිද ?

නිමල් - හෙට්ටිපොළ

උපදෙස:

වෛද්‍යවරයකු විසින් රෝගියකුට දෝෂාරෝපණය කිරීම සහ ඔහු හෝ ඇය අපහසුතාවට ලක්කිරීම කිසිසේත් අනුමත කළ නොහැකිය. එය වෘත්තීය ආචාරධර්මවලට පටහැනිය. එය නොවිය යුත්තක්. එහෙත් යම් රෝගයකට ප්‍රතිකාර ගැනීමට යාමේදී පූර්ව ප්‍රතිකාර සටහන් වෛද්‍යවරයාට රෝග නිශ්චය කරගැනීමට වැදගත්. මා රෝගීන්ට උපදෙස් ලබාදෙන්නේ රෝහල් බෑගයක් නිතරම ළඟ තබාගන්න. එහි පූර්වයෙහි සිදුකළ ප්‍රතිකාර සටහන්, බේත් හේත් වාර්තා සහ ආසාත්මිකතා සම්බන්ධ විස්තර අඩංගු නිසා වෛද්‍යවරයාට රෝග නිශ්චයට එය පහසුවකි. එය විශේෂයෙන් හදිසි අවස්ථාවකදී ප්‍රතිකාර කිරීමට පහසුවකි.

 සසංක චලන ගිම්හාන

 2025 පෙබරවාරි 15 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 පෙබරවාරි 15 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00