2022 ජුනි 19 වන ඉරිදා

වයස 17ක් මල්වර වෙලා නෑ

 2022 ජුනි 19 වන ඉරිදා, පෙ.ව. 08:00 330

• මල්වර වීම ප්‍රමාදයි

මගේ නංගිට දැන් වයස අවුරුදු 17යි. නමුත් තවමත් ඇය වැඩිවියට පත්වෙලා නැහැ. මේ නිසා නංගි ගොඩක් දුකෙන් ඉන්නේ. නංගිගේ පන්තියෙ යාළුවො හැමෝම මේ වෙද්දී  වැඩිවියට පත්වෙලාලු. නංගි තාම වැඩිවියට පත් නොවීම ගැටලුවක්. නංගිගේ පෙනුමත් පොඩි ළමයෙක් වගේ. එයා ගොඩක් කෙට්ටුයි. තවමත් අපි නංගිව වෛද්‍යවරයකුට පෙන්නුවේ නැහැ. අම්මා තාත්තා කියන්නේ තව ටිකක් බලමු කියලයි. ඒත් මේක අපිට ලොකු ප්‍රශ්නයක්. නංගි දුකෙන් ඉන්න නිසායි මම ප්‍රශ්නය යොමුකළේ. වෛද්‍යතුමනි, කරුණාකර මට විසඳුමක් දෙන්න.

රසාංගි - හැටන්  

උපදෙස්:

වයස අවුරුදු 14- 15 වයස්වලදී වැඩිවියට එළැඹෙන බවට පොදු පිළිගැනීම තිබුණද එය වෙනස් විය හැකි තත්ත්වයක්. එය ඇතැම් දියණියන්ගේ වයස අවුරුදු 20- 21 වයස්වලදී සිදුවිය හැකියි. එක් එක් කාන්තා ශරීරවල හෝර්මෝන වෙනස්වීම් අනුව මේ තත්ත්වය බලපායි. සමේ වෙනස්කම්, පියයුරු වර්ධනය ආදී මල්වර වීමට පෙර ඇතිවන ශරීරයේ මූලික වෙනස්කම් තිබෙනවාදැයි පරීක්ෂා කර බැලීම සුදුසුයි. ඒ ලක්ෂණ ඇතිවෙලා තිබෙනවා නම් වසරක් දෙකක් ඇතුළත වැඩිවියට පත්වීම සිදුවෙයි. එසේ ශාරීරික වෙනස්වීම් නොමැති නම් පමාවිය හැකිය. එම තත්ත්වය බියවිය යුතු තත්ත්වයක් නොවෙයි. දැරියගේ පෝෂණ දුර්වලතාවක් තිබෙනවාදැයි පරීක්ෂා කර බැලීමත් වැදගත්. තයිරොයිඩ් ක්‍රියාකාරීත්වය අඩු වූවාම වෙනත් හෝර්මෝන වෙනස්වීම් සිදුවෙයි. යම් සැකයක් ඇත්නම් කායික රෝග වෛද්‍යවරයකු හමුවන්න. එහිදී වෛද්‍යවරයා අවශ්‍ය නම් දැරියගේ හෝර්මෝන පරීක්ෂාවක් සිදුකර වැඩිදුර ප්‍රතිකාර ලබාදයි. මෙය බිය විය යුතු තත්ත්වයක් නොවන බව කිව යුතුයි.

• පුතාගේ නහයෙන් හොටු දියර ගලනවා

මගේ දරුවාගේ වයස අවුරුදු 6යි. ඔහු පාසල් යන දරුවෙක්. පළමු ශ්‍රේණියේ ඉගෙනගන්නේ. කාලයක සිට දරුවාගේ නාසයෙන් අසීමිත විදියට සොටු දියර ගලනවා. මෙයට කෙතරම් බෙහෙත් කළත් තවමත් සුවයක් නැහැ. මේ නිසා පාසලේදී පන්තිවල ප්‍රශ්නත් ඇතිවෙලා තියෙනවා. සොටුදියර ගලන අවස්ථාවකදී පිසදාගන්න කියා දුන්නත් තවමත් පොඩි දරුවෙක් නිසා එතරම් තේරුමක් නැහැ. මේ රෝගය නිසා මම පුතාව හැකිතරම් පරෙස්සම් කරනවා. අඩු තරමේ හවසට ඇඟ සෝදවන්නෙවත් නැහැ. බොන්න දෙන්නෙත් උණුවතුර පමණයි. දරුවට අයිස්ක්‍රීම් එකක්වත් දැන් කන්න දෙන්නේ නැහැ. ඒත් පුතාගේ වෙනසක් නැහැ. දැනට මොනවත් ඖෂධ පාවිච්චි කරන්නේ නැහැ. පුතාට සුව කරගැනීමට කළ හැකිවන්නේ කුමක්ද?

සමන්ති - පස්යාල 

උපදෙස්:

සොටු දියර ගැලීම වැඩි දරුවන් සිටිනවා. එවැනි අයගේ ආසාත්මිකතා ඇතිවීමේ තත්ත්ව තිබෙනවා. එවැනි අයට හතිය තිබෙන්නටද පුළුවන. ඔබ සඳහන් කරන රෝග ලක්ෂණ අනුව දරුවාගේ එවැනි ආසාත්මිකතා සහිත බවක් ඇතැයි අනුමාන කළ හැකිය. මෙහිදී පාසල් සිසුන් අතර ඇතිවන විවිධ වෛරස් රෝග අනුව ඒවා පොදුවේ බෝවීමේ සම්භාවිතාව ඉහළය. එහෙත් නාසයේ අධික ශ්‍රාවය ඇතිවීමේ නාසයේ අභ්‍යන්තරයේ ගෙඩි ඇතිවීම ආදී  ප්‍රශ්නයක් නිසා ඇතිවන්නත් පුළුවන්. මෙය ප්‍රතිකාර මගින් සුවකර ගත හැකියි. මෙහිදී කළ යුතු සුදුසුම දේ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයකු වෙත දරුවා යොමුකර ප්‍රතිකාර ලබාගන්න. ඉන්පසුව වැඩිදුරටත් ප්‍රතිකාර අවශ්‍ය වුවහොත් පමණක් උගුර කන නාසය සම්බන්ධ වෛද්‍යවරයකුගෙන් උපදෙස් ලබාගත හැකිය.

• පොඩි දුරක් ඇවිද්දත් හති

මම වයස මාස 4ක දරුවකුගේ මවක් වෙමි. දරුවා ලැබෙන්න කලින් මා ඉතා සිහින් සිරුරක් හිමි කෙනකු වුණත් දැන් තරබාරුයි. දරුවා ලැබුණායින් පසුවත් මගේ බර කිලෝග්‍රෑම් 10කින් පමණ වැඩිවී තිබෙනවා. බඩ ඉදිරියට නෙරා තිබෙනවා. මට ඇඟ සිහින් කරගැනීමට අවශ්‍යයි. දරුවා තවම පොඩි නිසා මම ආහාර පාලනය කිරීම සුදුසුද? දරුවා ලැබුණායින් පසුව පොඩි දුරක් ඇවිද්දත් මට දැන් ඉක්මනටම හති වැටෙනවා. දරුවා කුසෙහි සිටියදී අධි රුධිර පීඩනය සෑදුණ නිසා වසරක පමණ කාලයක් ඇඟ මහන්සි කරන ක්‍රියාකාරකම්වලින් ඈත්වෙලයි හිටියේ. මට ඉක්මනින් හති වැටෙන්නේ මේ නිසාද? මගේ බර අඩු කරගැනීමට කළ යුත්තේ කුමක්ද?

තුශානි - කුරුණෑගල

උපදෙස්:

එකවර ශරීරයේ බර වැඩිවීමකදී මෙවැනි නුහුරු හතිය දැනීමට පුළුවන. අධි රුධිර පීඩනය වෙහෙසීමෙන් වැළකීමට හේතුවක් නොවෙයි. අධි රුධිර පීඩනය ඖෂධ මගින් සාමාන්‍ය තත්ත්වයට පාලනය වී ඇත්නම් අපි උපදෙස් ලබාදෙනුයේ ව්‍යායාමවල යෙදෙන ලෙසයි. මෙහිදී ඔබට එය එපා කියූවේ ඇයි යන්න මට පැහැදිලි නැත. රුධිර පීඩනය අධික නම් එය පාලනය වෙන තෙක් විවේක ගැනීමට සලස්වයි. ගර්භනී කාලයේදී ඇතිවන අධි රුධිර පීඩනය දිගටම පැවතීමට හැකිය. මේ සඳහා සුදුසුම දේ  වෛද්‍යවරයකු හමු වී අධි රුධිර පීඩනය නිවැරුදිව මැන ගැනීමයි. වෙහෙස ගතිය දැනෙනවා නම් හෘද පරීක්ෂාවක් සිදු කළ යුතු වෙයි. එහෙයින් කායික රෝග වෛද්‍ය උපදෙස් මත අවශ්‍ය පරික්ෂණ කටයුතු සිදු කර ගැනීම උචිතය.

• කොණ්ඩය වවාගන්න ඕනෑ

මගේ වයස අවුරුදු 23යි. මට කොණ්ඩය දික්වීමේ ගැටලුවක් තිබෙනවා. උසස්පෙළ අවසන් කරනකල්ම මගේ කොණ්ඩය පිරිමි ළමයකුගේ මෙන් කොටටම කැපුවා. උසස් පෙළ අවසන් කළාට පසුව කොණ්ඩය කැපුවේ නැතත් තවමත් දික්වී ඇත්තේ අඟල් බාගයක් වැනි ප්‍රමාණයක්. මේ නිසා මගේ පෙනුම පිරිමි ළමයකු මෙන් යැයි මට සිතෙනවා. මෙය මට ප්‍රශ්නයක්. කොණ්ඩය ඉක්මනින් වවාගන්න වෛද්‍යතුමනි, උපදෙස් ලබාදෙන්න. 

අනූෂා  - වැලිවේරිය

උපදෙස්:

හිසකෙස් වැවීමත් තීරණය වනුයේ විවිධ ශරීරවල පවතින හෝර්මෝන වෙනස්කම් අනුවයි. සමහර ස්ත්‍රීන්ගේ හිසකෙස් වර්ධනය අවමයි. ඇතැමුන්ගේ වර්ධන වේගය වැඩියි. හිසකෙස් වැඩියි කියා මැසිවිලි නගන්නන්ද ඔබ වැනි හිසකෙස් අඩුයි කියා මැසිවිලි නගන්නන්ද අතර හිසකෙස් නොමැතිව දුක්වන්නෝද සිටිති. එහෙයින්  නොමැති දෙයට හඬා වැළපෙනවාට වඩා තමන්ට ලැබී තිබෙන දෙයින් තුටු වීම වටී. මාස් ශුද්ධිය මාස්පතා සිදුවෙනවා නම් හෝර්මෝන ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් ගැටලුවක් නැත. එහෙයින් ඔබේ හිසකෙස් ප්‍රමාණයට ගැලපෙන කොණ්ඩා මෝස්තරයක් තෝරාගෙන ඔබට ආකර්ෂණීය තරුණියක ලෙස  ලස්සනට සිටීමට හැකිය. හිසකෙස් වර්ධනයට කියා වෙනමම ප්‍රතිකාර නොමැති බවත් කියන්නට කැමැතියි.

• මුහුණේ අත පයවලත් රෝම ගොඩක්

මා 34 හැවිරිදි මම දෙදරු මවක්. මගේ මුහුණ පුරා දිගු රෝම වැවී තිබෙනවා. පාදවලත් අත්වලත් පිරිමි කෙනෙකුගේ මෙන් දිගු රෝම වැවී තිබෙනවා. දැනට වසර 8ක පමණ සිට මේ තත්ත්වය ඇතිවීම ආරම්භ වුණේ. ඒ පොඩි දුව ලැබෙන්න ඉද්දියි. මෙය මට මානසිකව බලපා ඇති ප්‍රශ්නයක්. විසඳුමක් අවශ්‍යයි.

ලසන්තිකා - මොරටුව

උපදෙස්:

කාන්තාවකගේ මුහුණේ සහ අත පයවල අසීමිතව රෝම ඇතිවීම මානසික වශයෙන්ද බලපාන කරුණක් බව පිළිගැනීමට හැකිය. මෙය මුල් කාලයේ නොමැතිව පසුකාලයේ වර්ධනය වූවා නම් මෙවැනි තත්ත්වයක් ඇතිවීමට හේතුව පිළිබඳ සොයාබැලිය යුතුයි. මෙය යම් හෝර්මෝන වෙනස්වීමක් වීමට පුළුවන. සෑම කාන්තා ශරීරයකම පුරුෂ හෝර්මෝන යම් ප්‍රමාණයක් තිබෙනවා .මෙහි සිදු වී තිබෙන්නේ එහි වැඩිවීමකි. ඒ සඳහා හේතු විමසා බලා  එයට ප්‍රතිකාර ගැනීමෙන් මෙය පහසුවෙන් සුව කරගත හැකිය. ප්‍රතිකාර ලබාගන්නා තෙක් තාවකාලික පිළියමක් ලෙස රෝම ඉවත්කිරීම ආදී පිළියමකට යොමුවීම සුදුසුය.

 සසංක චලන ගිම්හාන

 2025 පෙබරවාරි 15 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 පෙබරවාරි 15 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00