2022 ජුනි 26 වන ඉරිදා

නිතර වැසිකිළි යාම ලෙඩක්ද?

 2022 ජුනි 26 වන ඉරිදා, පෙ.ව. 08:00 888

• බත් කාලා තේ බිව්වට කමක් නැද්ද?

මම 52  හැවිරිදි පෞද්ගලික රැකියාවක නියුතු වූවෙකි. මම පුරුද්දක් විදියට නිතරම තේ පානයට නැඹුරු වී සිටිමි. උදෑසන සහ දිවා ආහාරයෙන් පසුවත් මට තේ කෝප්පයක් වුවමනායි. එය නැතුවම බැරිය. වෛද්‍යතුමනි, මා හට වෛද්‍ය උපදෙසක් අවශ්‍ය වන්නේ බත් කෑමෙන් පසුව තේ පානය කිරීම සුදුසුද? එහි අතුරුඵල තියෙනවාද?

සමරසිංහ - වැලිගම 

උපදෙස්:

ආහාරවල තිබෙන සමහර පෝෂක ද්‍රව්‍ය එක් එක් උෂ්ණත්වවලදී ඇඟට උරාගැනීමේ වෙනස්කම් පවතින්න පුළුවන්. විටමින් සී වගේ ආහාරයට ගත්තාම එය අධික උෂ්ණත්වයේදී ශරීරයට උරාගන්නේ නෑ. ආහාර ගත් මොහොතේම අධික රස්නය සහිත තේ පානය නුසුදුසුයි යන්න සාමාන්‍ය මතයයි. උණුසුම් ජලය පානය කිරීමේ වෙනත් වරදක් නැත. එහිදී වන්නේ ඇතැම් පෝෂක උරාගැනීම අවම වීමයි. සාමාන්‍යයෙන් ආහාරයක් ගත් පසු එම ආහාරය ආමාශයේ තිබෙන්නේ පැයක් පැය එකහමාරක් වැනි කාලයකි. එම කාලයෙන් පසුව තේ පානයේ කිසිදු වරදක් නෑ. ආහාර ගත් ගමන් තේ පානය සමහරුන්ට පුරුද්දක් වෙලා තිබෙනවා. එහි සෞඛ්‍ය හානියක් නෑ.

• උණ ගන්නේ සෙමටද?

මගේ පුතාගේ වයස අවුරුදු 12කි. අපි ජීවත්වන ප්‍රදේශය තරමක ශීත කාලගුණයක් ඇති ප්‍රදේශයකි. දරුවාට නිතරම සෙම් රෝගය වැළඳෙයි. ඒ සෑම අවස්ථාවකම උණ ගතියක්ද ඇති වී අමාරු වෙයි. නොනවතින කැස්සත් එක්ක සෙම ඉවතට යයි. කිහිප අවස්ථාවක ප්‍රතිකාර ගත්තත් තවම සම්පූර්ණයෙන් සුවයක් නොමැත. වෛද්‍යතුමනි, උණ ගන්නේ සෙම ගතියටද? සෙම ගතිය සම්පූර්ණයෙන් සුවය ලබන්න බටහිර බෙහෙත් තිබෙනවාද?

මවක් - මතුගම 

උපදෙස්:

මෙම ප්‍රශ්නය පිළිබඳ අපි පෙර අවස්ථා කිහිපයකදීම දේශය පුවත්පත හරහා පිළිතුරු ලබාදී තිබෙනවා. අපි සෙම වැඩියි කියා කියන්නේ ශ්වසන පද්ධතියේ ඇති පටලවල යම් අසාත්මිකතාවක් ඇති වූවාමය. මෙය දරුවාගෙන් දරුවාට වෙනස් වීමට හැකියි. මෙය දූවිල්ලෙන්, සීතලෙන්, දුමකින් සෙම මතුවීමට පුළුවන. ඒ ශ්‍රාවයන් අධික වුණාම ශ්වසන පද්ධතියේ වෛරස් වර්ධනය වීමට පුළුවන. දරුවන්ගේ ප්‍රතිශක්තිය අනුව වෛරස්වලට ඔරොත්තු දීමේ හැකියාව වෙනස් වෙයි. අඩු ප්‍රතිශක්තිය සහිත දරුවන්ට ඉක්මනින් මෙම වෛරස ආසාදනය වීමට පුළුවන. පෙනහළු ආශ්‍රිත වෛරස ආසාදන මිලියන ගණනක් පරිසරයේ තිබෙනවා. එහෙයින් වෙනත් මාර්ගයකින් හෝ එය ඇතිවීමට හැකිය.පෙර වෛරසයක ප්‍රතිශක්තිය තිබුණත් වෙනස් වෛරසයක් වැළඳෙන්න පුළුවන්. මෙහිදී සිදුකළ යුතු සුදුසුම දේ වනුයේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයකු හමුවී දීර්ඝකාලීන ඖෂධ ලබාදීමයි. බාහිර පරිසර සාධකවලින් ඇතිවෙනවා යැයි සිතෙනවා නම් දූවිලිවලින් එනවා නම් එය වළක්වා ගැනීමට මුව ආවරණයක් පැළඳීම ආදී කටයුතු කළ යුතුයි. එසේ වුවහොත් මෙය හැදෙන වාර ගණන අඩුකර ගැනීමට පුළුවන්.

• නිතර හැදෙන බඩේ අමාරුවක්

මගේ පුතාගේ වයස අවුරුදු 18කි. මාස 3ක විතර ඉඳන් පුතා වැසිකිළි යන වාර ගණන වැඩිවෙලා තියෙනවා. පසුගිය කාලයේ පුතා විභාග ගණනාවකට මුහුණ දුන්නා. නිතරම  වැසිකිළි යෑම නිසා පුතා විභාග ශාලාවේදීත් අපහසුතාවට මුහුණ දී තිබෙනවා. පුතා සාමාන්‍ය විදියට කෑම බීම ගන්නවා. නිතරම වැසිකිළි යාම රෝගයක්ද?

නිලූපා - වේයන්ගොඩ

උපදෙස්

සමහර කායික රෝග වර්ග තිබෙනවා වැසිකිළි යන වාර ගණන වැඩිවන. සමහරවිට මෙය බඩවැල්වල පවතින රෝග තත්ත්වයක් වීමට පුළුවන්. මෙහිදී සලකා බැලිය යුතු වන්නේ මළපහ පිටවන්නේ කොයි ආකාරයෙන්ද යන්නයි. මේ හා සම්බන්ධ වෙනත් කායික රෝග තිබෙනවාදැයි පරීක්ෂා කර බැලිය යුතුයි. තයිරොයිඩ් ග්‍රන්ථිය ක්‍රියාකාරීත්වය අධික අයට අධික මළපහ පිටවන්නට පුළුවන්. එවැනි අයට නින්ද නොයාම, සිරුර සිහින් වීම සහ දහදිය දැමීම වැනි වෙනත් ලක්ෂණත් තිබෙනවා. පරීක්ෂා කර බැලීමෙන් පසු කායික රෝගයක් නොමැති නම් ඉන්පසු බඩවැල්වල රෝගී ලක්ෂණයක්දැයි බැලීමට යොමුවිය යුතුයි. ශල්‍ය වෛද්‍ය අංශයෙන් මේ පිළිබඳ පරීක්ෂණ සිදුකරනවා. ඔබ පළමුව කළ යුතු වන්නේ කායික රෝග වෛද්‍යවරයකු හමුවී කරුණු පවසා නිවැරුදි රෝග විනිශ්චයකට යොමුවන්න. මෙය සමහරුන්ට පුරුද්දක් විදිහට වැසිකිළි ගියාම එයට දිගටම හුරුවෙනවා.

• නියපොතු විකෘති වෙලා

මම වයස 68ක කාන්තාවක්. කාලයක පටන් මගේ පාදයේ නියපොතු සාමාන්‍ය පෙනුමට වඩා වෙනස්. රුළි වැටිලා. ඉක්මනින් කැඩෙනවා. කිසිම ලස්සනක් නැහැ. අවපැහැවී තිබෙන්නේ. කෙතරම් ප්‍රතිකාර කළත් මෙයට නිසි විසඳුමක් ලැබී නැහැ. මෙය කිසියම් රෝගයක ලක්ෂණයක්ද? 

චන්ද්‍රාණි - ගල්නෑව 

උපදෙස්

බොහෝදුරට සමේ රෝගී තත්ත්වවලදී එන්නට හැකිය. දීර්ඝකාලීන ශරීරයේ නිදන්ගත කායික රෝගවලදී එන්නට පුළුවන්. වකුගඩු රෝගයේදී, හන්දි රෝගයේදී මෙවැනි තත්ත්වයක් මතුවිය හැකිය. ශරීරයේ වෙනත් පෝෂක කොටස් අඩුවීම නිසා එන්නටත් පුළුවන්. ඔබ පළමුව කළයුතු වන්නේ කායික රෝග වෛද්‍යවරයකු හමු වී පරීක්ෂා කරවා ගත යුතුයි. ඉන්පසු සමේ රෝග වෛද්‍යවරයකුගෙන් ප්‍රතිකාර ගැනීමට සිදුවෙයි. නියපොතු කොටස් පරීක්ෂණවලටත් යොදවා එහි දිලීර ආසාදන තිබෙනවාදැයි පරීක්ෂා කරයි. එයට ඇතැම්විට දීර්ඝකාලීන ප්‍රතිකාර අවශ්‍ය වෙයි. සුදුසුම දේ පළමුව රෝගය නිශ්චය කර ගැනීමයි. මෙය රෝග තත්ත්වයක් වීමට පුළුවන්.

• හමේ රෝගය වේදනාවක්

මගේ වයස 21යි. පොඩි කාලේ ඉඳලම මගේ හමේ පොතු ගැලවෙනවා. මේ නිසා ගොඩක් තැන්වලදී මම සමාජයෙන් ඈත්වෙලා ඉන්නේ. බෙහෙත් ගත්තත් බෙහෙත් පාවිච්චි කරන කාලෙට විතරක් ලෙඩේ හොඳයි. ඊටපස්සේ ආයෙමත් හැදෙනවා. අපේ පවුලෙන් මේ රෝගය තියෙන්නෙත් මට විතරයි. සමහර කාලවලදී අත් කකුල් දනවා. ඒ රස්නෙ වැඩි කාලවලදී. මම මේ නිසා ගොඩක් පීඩනයකින් සහ වේදනාවකින් ඉන්නේ. වෛද්‍යතුමනි කරුණාකර මට පිහිට වෙන්න. 

හර්ෂාණි - හපුතලේ 

උපදෙස්:

සමේ පොතු යන මුළු සිරුරටම බලපාන රෝග තත්ත්ව තිබෙනවා. (Exfoliative Dermatitis) අපේ සමේ බාහිර පටලයෙන් වැසී ඇති නිසා අභ්‍යන්තර සෛලවල කොටස් පරිසරයට විවර වී නැතිවන්නේ. බාහිරව තියෙන්නේ මැරුණු සෛල කොටස්. සමේ පොතු ගැලවී යාමෙන් දුර්ගන්ධයක් වහනය වීමටත් පුළුවන්. ඒ මත බැක්ටීරියා වර්ධනය වීමටත් හැකියාවක් තිබෙනවා. මෙය සමේ රෝග ප්‍රතිකාර මගින් සම්පූර්ණයෙන් සුවකර ගැනීමට පුළුවන්. යම් කාලසීමාවක් රෝහලක නේවාසික ප්‍රතිකාර ලබා හෝ මෙයට ප්‍රතිකාර ලබාගත යුතුයි. මෙයට ප්‍රතිඵලදායක ප්‍රතිකාර ක්‍රම තිබෙනවා. ඉන් මෙම තත්ත්වය පහසුවෙන් සුවකර ගැනීමට හැකියි. 

සසංක චලන ගිම්හාන